කෘෂිකර්මාන්තයට, සත්ව පාලනයට, මහජන සෞඛ්‍යයට හා පරිසරයට අහිතකර කාබනික පොහොර ආනයනය නතර කරන ලෙස ඉල්ලීම.

 

     ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරු වෙත

   

කාබනික පොහොර ආනයනය කිරීම සම්බන්ධවයි

රජය මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති පරිදි කෘෂි කර්මාන්තයේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාබනික පොහොර විදේශ රටවලින් ආනයනය කිරීමේ කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම (Qindao Seawin Biotech Group Co.) මගින් නිෂ්පාදිත ඝන කාබනික පොහොර තොග වලින් නියැදි මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවේ ආයතන දෙකකින්, එනම් ජාතික ශාක නිරෝධායන සේවයේ හා කාර්මික තාක්ෂණ ආයතනයේ රසායනාගාර වලදී පරික්ෂාවට ලක්කර ඇත. මිට අමතරව, අන්තර්ජාතිකව පිළිගත් Schutter Global Inspection and Survey Co. Ltd. ආයතනය සතු රසායනාගාරයකින් චින්ඩාවෝ කර්මාන්තශාලාවේ මෙම කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර (Production line) සහ එම නිෂ්පාදිත පොහොර පැටවීමේ ස්ථානයේදී (Point of loading) වෙනම නියැදි ලබා ගෙන ඒවායේ මිනිසාට ව්‍යාධිජනක විය හැකි ක්ෂුද්‍ර ජීවින් අන්තර්ගත දැයි විශ්ලේෂණය කර ඇත. 

    ජාතික ශාක නිරෝධායන සේවය හා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ඉහත නියැදි පරීක්ෂා කර, අදාළ වාර්තා ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත නිකුත් කර ඇත. එහිදී ශාක නිරෝධායන සේවය විසින්, 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතෙන් පැවරී ඇති බලතල අනුව සාම්පල පරීක්ෂාවේදී, ශාකවලට අහිතකර රෝගී තත්වයන් ඇති කරන Erwinia සහ Bacillus වර්ග වල බැක්ටීරියා මෙම ආනයනය කිරීමට නියමිත ඝන කාබනික පොහොර නියැදි වල සිටින බවට දන්වා ඇත. නමුත් කාර්මික තාක්ෂණ ආයතනය මඟින් සිදුකල පරීක්ෂාවේදී අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හෝ බැර ලෝහ මෙම කාබනික ඝන පොහොරවල අඩංගු ව ඇත්දැයි තහවුරු කර ඇතිදැයි දක්වන වාර්තා දැනට සමාජ ගතව නොමැත.  එනමුදු Schutter ආයතනය මගින් කරන ලද පරික්ෂාවේදී, මෙම ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට බලාපොරොත්තු වන ඝන කාබනික පොහොර වල මානව සෞඛ්‍යයට අහිතක වර්ගයේ බැක්ටීරියා අඩංගු බව තහවුරු කර ඇත.  

එනම් මෙම ආයතන දෙකෙන් (ජාතික ශාක නිරෝධායන මධ්‍යස්ථානය සහ Schutter ආයතනය මගින්) පරීක්ෂා කර ඇත්තේ අදාළ පොහොර සාම්පලවල ඇති එකිනෙකට වෙනස් ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ වුවත්, සමස්තයක් ලෙස ගත් කල ශාකවලට මෙන්ම මානවයාට ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවින් අඩංගුව ඇති බව මනාව පැහැදිලි වේ. මිට අමතරව ඝන කාබනික පොහොර ආනයනය කිරීමේදී බලපවත්වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අංක 1704:2021 දරන ප්‍රමිතියෙන් එම පොහොර ජීවානුහරණය කර තිබිය යුතු බව දැක්වෙන වැදගත් පරාමිතිකය සම්පුර්ණයෙන් උල්ලංඝනය කර ඇති බව මෙයින් හොඳින් පැහැදිලිවේ. 

මෙවන් තත්ත්වයකදී වුවද මේ වාර්තා දෙක සන්සන්ධනය කරමින් පොහොරවල ගුණාත්මය පිළිබඳ ආයතන දෙකෙන් වාර්ථා දෙකක් සපයා ඇති බවත් මේ නිසා මෙම වාර්තා පිළිබඳ සැකයක් ඇති බවත් මෙය රටට කාබනික ද්‍රව්‍ය ආනයනය කිරීම නතර කිරීමට කරනු ලබන කුමන්ත්‍රණයක් බවත් පවසමින් මහජනතාව නොමඟ යවන ප්‍රකාශ බලධාරීන් විසින් නිකුත් කරමින් ඇත. මෙයින් එක් අතකින් අන්තර්ජාතිකව පිළිගත් Schutter ආයතනය මගින් හෙළිකරන වැදගත් කරුණු මහජනතාවගෙන් වසන් කිරීමක් සිදු කර ඇත. ඒ සමගම මහජන අප්‍රසාදය ද ඉහත ශ්‍රී ලාංකීය ආයතන වෙත යොමු කරමින් මෙම ආයතනවල සේවාව අපකීර්තියට පත් කිරීමත් මෙමඟින් ඉදිරියේදී එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය ලෙස ආනයන ක්‍රියාවලිය පාලනය කර ගැනීමටත් දරණ උත්සාහය පිලිබඳවද අපගේ දැඩි විරෝධය පලකර සිටිමු.

විශේෂයෙන් වෙනත් රටකින් කාබනික කෘෂිකාර්මික යෙදවුමක් ආනයනය කිරීමේදී අප රටේ එම කටයුත්ත නියාමනය කරන ශාක නිරෝධායන පනත මඟින් බලයලත් ආයතනය වන ශාක නිරෝධායන සේවය මඟින් නිකුත් කල වාර්තාව පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මෙම වාර්තාවේ සඳහන් පරිදි මෙම Erwinia හා Bacillus බැක්ටීරියා වර්ග අප රටේ බහුලව වගා කරනු ලබන බොහෝ බෝග සඳහා රෝග ඇති කරන බැක්ටීරියා වේ. මෙම ක්ෂුද්‍රජීවීන් අඩංගු කාබනික පොහොර අපේ ගොවිබිම් වලට එකතු කිරීම මඟින් දැනට වගා කරන බෝග වර්ග වලට එල්ල වන තර්ජනය මිල කල නොහැක. එමෙන්ම මෙම කාබනික පොහොර නිෂ්පාදනය කරන චීනයේ Qingdoa ප්‍රාන්තය වටා කහ මුහුදේ (Yellow sea) ඇති වේගයෙන් වර්ධනය වන විනාශකාරී හරිත ඇල්ගී යම්කිසි ලෙසකින් මෙම ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සුදානම්කර ඇති කාබනික පොහොර සමඟ මිශ්‍ර වී, ඉහත ඇල්ගී විශේෂයේ සජීවී කොටසක් හෝ මෙරටට පැමිණියහොත්, අපේ රටේ කලපු ආශ්‍රිත පරිසර පද්ධතියට සිදුවිය හැකි හානියද ඇති මහත් විය හැක.

මෙවන් අධික අවදානමක් සහිතව ආනයනය කරන කාබනික පොහොර අප ගොවිබිම් වලට යෙදීමෙන් විය හැකි විනාශය නැවත ආපසු හැරවිය නොහැකි වනු ඇත. මේ පිළිබඳව වහා අවධානය යොමුකර, සිදුවීමට යන මෙම ඉතාමත් විනාශකර තත්ත්වය වලක්වාලීමට වගකිවයුතු නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුකරන ලෙසද, මෙවන් කාබනික පොහොර ආනයනය කිරීම සම්පුර්ණයෙන් නවතා දමන ලෙසද, ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි කෘෂිකාර්මික කටයුතු වල යෙදී සිටින සමස්ත ජනතාව වෙනුවෙන් මෙයින් උදක්ම ඉල්ලා සිටිමු.

   පිටපත් :-

   අතිගරු ජනාධිපතිතුමා              

   අතිගරු අග්‍රාමාත්‍යතුමා           

   කෘෂිකර්ම අමාත්‍යතුමා              

   කාබනික පොහොර සහ වී සහ ධාන්‍ය, කාබනික ආහාර, එලවළු, පළතුරු, මිරිස්, ළූණු සහ     අර්තාපල් වගා ප්‍රවර්‍ධනය, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්‍ෂණ කෘෂිකර්මාන්තය නිෂ්පාදනය      හා නියාමනය ප්‍රවර්‍ධනය කිරීමේ රාජ්‍ය අමාත්‍යතුමා

 

 

 

 

Sign this Petition

By signing, I authorize Harvest Group to hand over the information I provide on this form to those who have power on this issue.







Paid advertising

We will advertise this petition to 3000 people.

Learn more...